ඇමරිකාවෙන් ඩොලර් මිලියන 15ක ආයෝජනයක්!

Published On: July 15, 2025
Follow Us

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනයක් (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC) අතර අවබෝධතා ගිවිසුමක් අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් තැබිණි.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන, ඩොලර් මිලියන 15ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට අමෙරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය (SLIBTEC) වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ යන මහත්ම මහත්මීහු අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂිකර්ම, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි මෙන්ම ආනයන හා අපනයන පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවක් කලක සිට පැවතිණි.

මෙම අවස්ථාවට එක්වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා සඳහන් කළේ අද දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂී දිනයක් වන බවත්, ප්‍රතීතනය රටක සංවර්ධනයට අතිශයින් වැදගත් වන බවත්ය. 2030 වන විට මෙරට අපනයන ආදායම දෙගුණ කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට මෙවැනි ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙම නව රසායනාගාරය දිවයින පුරා පවතින අනෙකුත් රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින්, විවිධ ක්ෂේත්‍රයන්හි භාණ්ඩ හා සේවාවල තත්ත්වය තහවුරු කිරීමට අපේක්ෂිතය.

STEMedical ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා මෙහිදී අදහස් දක්වමින්, මෙවැනි විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට තරම් පුළුල් දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිබඳව සිය සතුට පළ කළේය. මෙම ව්‍යාපෘතිය මගින් මෙරටට සායනික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද විශාල ප්‍රතිලාභ අත්වන බවත්, ආර්ථික විශේෂඥයින්ගේ අවධානයද ශ්‍රී ලංකාව කෙරෙහි යොමුවනු ඇති බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවල ඖෂධ වැනි දෑ ප්‍රතීතනය සඳහා මෙරටට යොමු කිරීමෙන් ආදායම් උත්පාදනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවද මහාචාර්ය කීර්ස්ටෙඩ් වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයේ නිර්මාතෘ වන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මහතා ජාත්‍යන්තරව පිළිගත් මූලික සෛල (Stem cells) විශේෂඥයෙකු මෙන්ම, අමෙරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යවසායකයෙකි. ඔහු මේ වන විට ගෝලීය මානව ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියෙහි (Human Immunome Project) ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන අතර, ඩිස්කවර් සඟරාවේ ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් 100 දෙනා අතර සිටින විද්‍යාඥයෙකු වීමද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා, ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිස්ටර් ගේබ්‍රියල් ලෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

sandaru

As an experienced publisher, I champion high-quality, credible, and engaging digital journalism. Join me to learn how to build trust, grow audiences, and monetize news platforms, transforming perception in today's competitive media.

Join WhatsApp

Join Now

Join Telegram

Join Now

Leave a Comment